Add CSS based dropdown menu to blogger

NEWS

20 March 2013

සුබ නැකත යනු කුමක්‌ද?


නැකත යන වදනින් තේරුම් දෙකක්‌ නිරූපණය කෙරේ. අහසේ ඇති තරු පංති ද නැකත් යන වචනයෙන් හඳුන්වනු ලැබේ. පෘථිවිය වටා අහසේ ඇති එවැනි තරු පංති විසිහතක්‌ තිබේ. අස්‌විද, බෙරණ, කැති, රෙහෙණ ආදී නම් වලින් මෙම නැකත් තරු හඳුන්වනු ලැබේ. කිසියම් පුද්ගලයකු උපන් නැකත යෑයි හඳුන්වන්නේ ඉපදුණු අවස්‌ථාවේ සඳුට කෙලින් පිහිටි නැකත් තරු පංතියේ නමයි. නැකත යන වචනයේ දෙවැනි අර්ථය වන්නේ සුභ මොහොත, සුබ වේලාව යන්නයි. ජන වහරේ නැකත යනුවෙන් කියෑවෙන්නේ මෙම සුබ වේලාව යන අරුතයි.

එක වේලාවකට වඩා තවත් වේලාවක්‌ සුබ වන්නේ මක්‌නිසාද? නැතහොත් 
අසුබ විය හැකිද?, මේ නැකත් බැලීම වූ කලී හුදු මිත්‍යා විශ්වාසයක්‌ නොවන්නේද? යන ප්‍රශ්නය කෙනෙකුට ඇතිවිය හැකිය. මෙම ලිපියේ පරමාර්ථය මේ පිළිබඳව පුළුල්ව සාකච්ඡා කිරීමයි.

කර්ම විපාක ගැන විශ්වාසය තබන ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද ජන ජීවිතය නැකතට වැඩ කිරීම සමඟ බැඳීමකි. ඈත අතීතයේ සිටම ලාංකිකයා ගොවිතැන් කළේ නැකතටය. කුඩා දරු දැරියන්ට

පළමු වරට ඉඳුල් කට ගෑවේ නැකතට ය. කෙස්‌ කැපුවේ, අකුරු කියෙව්වේ නැකතටය. මංගල උත්සවයක්‌ සංවිධානය වූයේ නැකත් ගණනාවක්‌ අනුවය. මනාලියගේ මව්පියන් වෙත මංගල නැකත් පත්‍රයක්‌ මනාලයා විසින් කල් ඇතිව බාරදීම වැදගත් චාරිත්‍රයක්‌ විය. නිවාස ඉදිකරන ලද්දේ ද සුබ නැකත් ගණනාවක්‌ අනුගමනය කරමිනි.

පැරැන්ණෝ හිතූ හැටියට එකවරම ගස්‌ කපා දැම්මේ ද නැත. ගස්‌ කැපීම ද නැකතට සිදුවිය. ඌරන් වල් අලින් ආදී සතුන්ගෙන් ස්‌වකීය වගාව රැක ගැනීම සඳහා වැට බැන්දේද නැකතටය. එපමණක්‌ නොවේ පන්සලේ වෙහෙර විහාරවල මුල්ගල් තැබීම, ධාතු නිධානය, නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය සිදු කළේ ද ඉතා සුබ නැකත් වලටම ය.

එදිනෙදා ජීවිතයේ සෑම වැදගත් කටයුත්තක්‌ම සුබ නැකත් බලා සිදුකරන සිංහලයන් (සහ හින්දුන්) අඥානයන් ලෙස හැඳින්වීමට සමහරුන් උත්සාහ කළ ද මෙරට දැවැන්ත නිර්මාණ ඉදිකිරීම් කර ඇත්තේ ද නැකත්වලට බව මහාවංශය වැනි ඉතිහාස ග්‍රන්ථ සනාථ කරවයි. උදාහරණයක්‌ ලෙස රුවන්වැලි මහා සෑය දුටුගැමුණු රජතුමන් විසින් ඉදිකරන විට නැකත් භාවිතා කර ඇති බව එහි සඳහන් වේ. මහා වංශයේ 29 පරිච්ෙච්දය ආරම්භ වන්නේ,

"මෙසේ උපකරණ සම්පූර්ණ වූ කල්හි වෙසඟ පුර පසළොස්‌වක විසා නැකත පැමිණි කල්හි මහ සෑය ආරම්භ කළේය. යනුවෙනි. 31 වැනි පරිච්ඡේදයේ "ඇසල මස ශුක්‌ල පක්‍ෂයේ පසළොස්‌වක්‌ හි උතුරුසල නැකතින් මෙසේ ධාතු පිහිටියාහුය" යනුවෙන්ද සඳහන් වේ. රුවන්වැලි සෑය වැනි අද්විතීය උසස්‌ නිර්මාණවල ආරම්භය පවා නැකත් බලා ආරම්භ කර තිබීමෙන් ප්‍රත්‍යක්‍ෂ වන්නේ මෙරට උසස්‌ දියුණුවක්‌ තිබූ කාලයන්හි පවා ඒ දියුණුව ලැබීමට නැකත ද ඉවහල් වී ඇති බවය.

ග්‍රහ ලෝකවල බලපෑමක්‌ සතුන්ට හා ගස්‌වැල්වලට තිබේද යන්න විමසිලිමත්ව නිරීක්‍ෂණය කිරීමෙන් දැක ගත හැකි ය. ගස්‌වැල් වල අතු සූර්යාලෝකය ඇති පැත්තට නැමේ. පැළෑටිවලට සවස හිරු එළියට වඩා උදේ හිරුඑළිය අවශ්‍ය වන්නේය. හොඳින් හඳ එළිය ඇතිවිට කලාත්මක හා නිර්මාණශිලී අදහස්‌ උපදී. අලුත් අවුරුද්ද උදා වන විට එනම් හිරු මේෂ රාශියට යනවිට ධාන්‍ය අස්‌වනු නෙළන කාලය ද උදා වෙයි. සූර්ය මංගල්‍යය ඇති වූයේ එබැවිනි. සිකුරු දුර්වල වනවිට ඇඹුල් වර්ග වන දෙහි, දොඩම් ආදිය හිඟ වී මිල ඉහළ යයි. පුර පක්‍ෂයට ගස්‌ කපන්නේ නැත. ඒ කාලයට කපන ගස්‌ ගුල්ලන් ගහන බැවිනි. මේ අතර පසළොස්‌වක පෝ දිනවල උතුම් මහා පුරුෂයන්ගේ උපත් සිදුවේ. සිදුහත් කුමරු ජන්ම ලාභය ලැබුවේ සඳ බලවත් වෙසක්‌ පෝ දිනකය. ඇදුම, මානසික රෝග, සඳේ ගමන අනුව අඩු වැඩි වන බව පෙනේ. ස්‌ත්‍රීන්ගේ ඔසප් වීම ද සඳේ ගමනට විශාල සබඳතාවක්‌ දක්‌වන්නේ පිළිසිඳ ගත් දරුවන්ගේ ස්‌ත්‍රී පුරුෂ බව ද තීරණය කරමිනි.

තවද වර්ෂාව කොපමණ කලක්‌ පවතීද? යන ගැටලුව විස¹ ගැනීමට නවීන විද්‍යාත්මක උපකරණ තවමත් සමත් වී ඇති බවක්‌ නොපෙනේ. එහෙත් රවි, බුධ. සිකුරු යන ග්‍රහයන්ගේ ගමණ වර්ෂාව කෙරෙහි මහත් බලපෑමක්‌ ඇතිකරන බව ජ්‍යෙතිර් විද්‍යාව අවධාරණය කරයි.

"පෙර පසුවත් එක රැස හෝ රවිට සමඟ සිකුරු බුදේ

අරගලවත් වැසි මේගය වැහැලා වැව් අමුණු බිඳේ.....
"

යන පුරාණ කවිය බිහි වී ඇත්තේ ඒ අනුවය. මේ කරුණු ඉහත කෙටියෙන් සඳහන් කළේ ග්‍රහ චලිතය කෙතරම් දුරට සතුන්ට හා පරිසරයට බලපාන්නේ ද යන කාරණය පිළිබඳව පාඨක අවධානය යොමු කරනු පිණිසය. මේ අනුව ග්‍රහ ගමන් ඉදිරියේදී සිදුවන ආකාරය අනුව උදාවන තත්ත්වයන් දන්නේ නම් එදිනෙදා කටයුතු ද සැලසුම් කරගත හැකි බව අවබෝධ වේ. නැකත් සෑදීමේ පදනම මෙයයි.

නැකතක්‌ සාදන විට ජන්මියාගේ කේන්ද්‍රය මගින් හෙළිකරන කර්ම විපාක වල තත්ත්වය ද විශේෂයෙන් සලකා බලනු ලැබේ. උදාහරණ වශයෙන් නිවසක්‌ ඉදිකිරීමට නම් ජන්මියාට ඒ සඳහා පෙර පින් ඇති බව වැදගත් සාධකයකි. කේන්ද්‍රයේ හතරවැන්නේ බල දුබලකම් සිකුරුගේ තත්ත්වය ආදිය මත මෙය දැක ගත හැකිය. නිවාසයක්‌ ගොඩනැගීමට අපේක්‍ෂා කරන කෙනෙකුට ඊට සුදුසු කාලය වන්නේ මෙම කුශලකර්මවල විපාක උදාකරන කාලයයි. ග්‍රහ ගමන බලා මේ කාලය තීරණය කෙරේ.

තම කේන්ද්‍රයේ ග්‍රහයන් බලවත් නම් ද, නැකත් වේලාවට උදාවන ලග්න නවාංශක හෝරා ආදිය ද බලවත් නම් ද අදාල කාර්යය සාර්ථක වන්නේ පුදුම සහගත ලෙසටය. බාධක මඟහැරී නියමිත කාලය ඇතුළත සතුටුදායක ලෙස වැඩ නිමවීමට බලවත් නැකතක ඇත්තේ පුදුම බලයකි. මේ පිළිබඳව මෙරට ජනතාවට බොහෝ අත්දැකීම් ඇති බැවින් විස්‌තර කිරීම අවශ්‍ය නොවේ.

නැකතක්‌ සෑදීම පරිනත ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍රඥයකු අතින්ම සිදුවිය යුතුය. එසේ නැකත් සෑදීම පිළිබඳව පමණක්‌ නොව නැකතින් අපේක්‍ෂා කරන කාරණයට අදාළ චාරිත්‍ර වාරිත්‍ර ආදී කරුණු ද ඉතා වැදගත් බැවින් ඔබේ හා ඔබ පවුලේ සාමාජිකයන්ගේ විවිධ අවස්‌ථාවල නැකත් සෑදීම පිළිබඳව වැදගත් යෑයි හැඟෙන කරුණු රාශියක්‌ මෙතැන් සිට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු. ළදරුවකුව ඉපදීමේ සිට මරණයට පත්වීම දක්‌වා විවිධ අවස්‌ථාවලදී නැකත් බලා අදාළ කටයුතු කිරීම සිදුවන බැවින් ඒ අනුව පිළිවෙළින් මෙම කරුණු ඉදිරිපත් කරනු ලැබේ.

කෙස්‌ කැපීම

ළදරුවකු බිහි වූ පසුව මුලින්ම උදාවන වැදගත් අවස්‌ථාවක්‌ ලෙස කෙස්‌ කැපීම හැඳින්විය හැකිය. උපන් මොහොතේම කෙස්‌ කැපීම හෝ ඉපදී දින 45 ගත වන දිනයේ කෙස්‌ කැපීම නැකත් නොබලා කළ හැකි ව සමහරු විශ්වාස කරති. මෙය වැරදි අදහසක්‌. ජන්ම නැකතින් ශරීරය පිළිබඳව කරන ක්‍රියා සුදුසු නැති බව ජ්‍යෙdතිෂ නියමයකි. තවද 45 වන දිනය දරුවාට අශුභ වන විපත් ප්‍රත්‍යාරී වධ ආදී නැකත් ද උදාවන දිනයක්‌ ද විය හැකිය.

කෙස්‌ කැපීම සඳහා සුදුසු නැකතක්‌ යොදා ගැන්ම මැනවි. එහෙත් දරුවා යන්තම් වචන කතා කරන හෙවත් බහතෝරන කාලයේ කෙස්‌ කැපීම ඉතා අශුභය. ඊට පෙර කෙස්‌ කපා තිබේ නම් වරදක්‌ නැත.

කෙස්‌ කැපීමට පෙර ළමයා බඩගින්නේ නොතබා, කිරි පොවා තිබීම වැදගත්ය. එමෙන්ම "සබ්බ පාපස්‌ස අකරනං" යනාදී ගාථාවෙන් 108 වරක්‌ පිරිත් කර ගත් පිරිසිදු වතුර බිංදු කීපයකින් කෙස්‌ තෙමා ඉන්පසු කෙස්‌ කපා ජලයේ පා කර හැරීම මැනවි. උදේ පාන්දර 5.00 ත් දවල් 11.00 ත් අතර වේලාව තුළදී උදාවන නැකතකින් කෙස්‌ කැපීම සුබයි.

ඉඳුල් කටගෑම

දරුවා කිරි ආදී ද්‍රව ආහාර ගනිමින් සිට ඝන ආහාර ගැනීමට ආරම්භ කරන අවස්‌ථාව ඉඳුල් කටගාන නැකතයි. මෙය වැඩිහිටියන්ට ඉතා සුළු දෙයක්‌ වුවද දරුවාට ඉතා වැදගත් බව නොකිව මනාය. මේ නිසා මෙය දරුවාට ඉතා ප්‍රසන්න දෙයක්‌ විය යුතුය.

පිරිමි ළමයින්ට වයස මාස 6, 8, 10 ආදී ඉරට්‌ටේ මාස වලදීද, ගැහැනු ළමයින්ට මාස 5, 7, 9 ආදී ඔත්තේ මාස ද, ඉඳුල් කට ගෑමට සුබ බව සඳහන් වේ. මෙසේ විවිධ මාස ගණන් දක්‌වා ඇත්තේ විශේෂ කරුණක්‌ නිසාය. එනම් ඉඳුල් කටගෑම සඳහා දරුවාගේ කටේ එක දතක්‌වත් තිබිය යුතුය. ඝන ආහාරවලට සූදානම් වන බව ශරීරය හඟවන්නේ දත් වලිනි.

ඉඳුල් කටගෑම සඳහා හීනටි වැනි හාල් වර්ගයකින් පිසින ලද බත්, කිරිබත්, ව්‍යංජන, රස කැවිලි, ක්‍රීඩා භාණ්‌ඩ, රං රිදී, මුදල් පොත්පත් ආදිය සූදානම් කර ගැන්ම මැනවි. දරුවා පියාගේ ඇකයේ සිටියදී මව විසින් බත් කැවීම සුදුසුය. පියා මව හා දරුවා මැද සිටියදී ඉහත දේවල් වටේට තබා ඉඳුල් කටගෑමෙන් පසුව, කැමති දෙයක්‌ ගැනීමට ළමයාට ඉඩ හරිනු ලැබේ.

මෙම සියලු නැකත්වලදී ඇස්‌වහ, කටවහ දොෂ ඇති අය ද, කිලි ඇති අය ද වුවමනාවට වඩා සෙනඟ ද බලා සිටීම සුබ නැත. තවද සියලු නැකත්වලදී බුද්ධ පූජාවක්‌ තබා දෙවියන්ට පින් දී ආරම්භ කිරීම ඉතා සුබය

No comments:

Post a Comment

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.