Add CSS based dropdown menu to blogger

NEWS

19 January 2013

වාස්තු දෝෂ සුළු ප්‍රතිකර්මව

ජීවත්වෙන ගෙදර වාසනාව, සතුට, සාමය රජයන තැනක් බවට පත් කර ගන්න බොහෝ දෙනා උත්සාහ ගන්නවා. එහෙම නිවසක් තනා ගන්න වසර දහස් ගණනක් තිස්සේ පවතින ක්‍රමයකුත් තියෙනවා. ඒකට කියන්නේ වාස්තු විද්‍යාව හෙවත් ගෙබිම් ශාස්ත්‍රය කියලයි.

මේ ව්‍යාපාරයත් අද හොඳට විකිණෙනවා. හොඳ දේ කීයට විකුණුවත් ප්‍රශ්නයක් නෑ. හැබැයි සමහරු වාස්තු කතාවෙන් මෝස්තර දාලා මිනිස්සුන් ගොනාට අන්දවන්නත් හදන බව සිහි තබා ගැනීම වැදගත්. අපි මේ ගැන ඇත්ත කතාව දැන ගන්නට ප්‍රවීණ ඡ්‍යොතිෂවේදියකු හා ගුප්ත ශාස්ත්‍රය පිළිබඳ විශාරදයකු වන චන්ද්‍රභාරතී මහතා හමුවුණා. මේ ඔහු අපට කී කතාවයි.

“ගෙබිම් ශාස්ත්‍රය සිංහලයන්ට ආවේණිකයි. පණ්ඩුකාභය රජතුමා මෙරට පුරාණ නගර නිර්මාණය කෙළේ ගෙබිම් ශාස්ත්‍රය පිළිබඳ දැඩි විශ්වාසයකින්.

ගොඩනැගිලි නිර්මාණය පාද හතරකට බෙදෙනවා. බ්‍රහ්ම පාදය, දේව පාදය, මනුෂ්‍ය පාදය හා පේ‍්‍රත පාදය.

බෝධි, චෛත්‍යය, විහාරය වගේ පූජනීය ස්ථාන ගොඩ නැගුවේ බ්‍රහ්ම පාදය මුල් කර ගෙනයි. සාමාන්‍ය මිනිස්සුන්ට ගෙවල් හදන්න බ්‍රහ්ම පාදය සුදුසු නෑ.

බ්‍රෝහියර් දුටු ලංකාව කියන පොතේ 115 වෙනි පරිච්ඡේදය සම්පූර්ණයෙන් වෙන් කරලා තියෙන්නේ ගෙබිම් ශාස්ත්‍රයේ විස්තර වර්ණනාවටයි. ඒ අනුව පුරාණයේ ගොඩනැඟිලි, වාරිමාර්ග, නගර සියල්ල නිර්මාණය කෙරුණේ ඡ්‍යොතිෂ හා ගෙබිම් ශාස්ත්‍රය පදනම් කර ගෙනයි. දෛවඥ කාමධේනුව 27 වැනි පරිච්ඡේදයේ ඉන්දියාවේ පැවැති තත්ත්වය විස්තර කෙරෙනවා. ඉන්දියාවේ සෘෂිවරුන් මේ පිළිබඳව පළ කරලා තියෙන මත විස්මිතයි. ඒවා ගැඹුරුයි. කොයි තරම් ගැඹුරු ද කියනවා නම් ඡ්‍යොතිෂය පිළිබඳව මනා දැනුමක් නැති කෙනෙකුට ඒවා තේරුම් ගන්නත් බෑ.

ඒ වගේම අපේ දේශයට, සිංහලයන්ට උරුම ගෙබිම් ශාස්ත්‍රයකුත් තියෙනවා. පසුකාලීනව මුහුර්ති චිත්තාමණි, පුරාණ මයිමතය වගේ පොත් පත් ලියවුණා. මේ පොත් සරල සිංහලෙන් ලියලා තිබුණත් භාෂා ප්‍රයෝග නොදන්න කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි.

ඒ කාලේ මායිම් වැට ගැහුවෙත් ගෙබිම් ශාස්ත්‍රය අනුවයි. පැළ හිටවීම, වැට බැඳීම, ළිං කැපීම, උළුවහු දොර ජනේල සවි කිරීම, ළිප් බැඳීම, කියන මේවායේ ගුණ අගුණ කදිමට විස්තර කෙරෙනවා.

ඒත් ඒ පුරාණ ශාස්ත්‍ර අද ඒ විදිහටම කරගන්න බෑ. කාලයට යුගයට අනුව වෙනස් වෙන්න ඕනෑ ශාස්ත්‍රයේ හරයට හානියක් නොවී නිර්මාණාත්මකව හිතන්න අපි පුරුදු වෙන්න ඕනේ.

අද ඡ්‍යොතිෂවේදියා, වාස්තු ශිල්පියා කටයුතු කරන්න ඕනේ කාලය ගැන අවදියෙනුයි. එහෙම නැතිව පරණ දේ ඒ විදිහටම කරන්න යෑම විකාරයක් වෙන්නත් පුළුවන්.


රිවි කුජ දෙදා එම හෝරා කටකයෙනි

සඳු අස්ලිසය සඳු හෝරා කටකයෙනි

වැට පිරුවොත් නොවරදවා විදි ලෙසිනි

වැට ඇති තෙක් අලියෝ නැති කියූ මෙයිනි


අලින්ගෙන් බේරෙන්න වැට බඳින එක හැටියටත් පවා ඒ කවියෙන් කියන්නේ. “මයිමතයේ” විස්තර කරන හැටියට


ගේ වට කළ වැට ඇතුළට

සැට රියනක් ගනුව දිගට

පුළුලත් එපමණයි එහෙට

ගෙයි පිටවනු සතර දිගට




ඉඳුරේ සිට වරුණ දිගට

හුයක් එලනු සැට රියනට

දකුණේ සිට උතුරු දිගට

හුයක් එලනු පෙර විලසට


ගෙබිම් ශාස්ත්‍රය වැරදුණොත් ලැබෙන ප්‍රතිවිපාක සඳහන් වෙන්නේ මෙහෙමයි.


ඇතුළේ හුය ගව නසිනා

අගලේ හුය අඹු නසිනා

ඊසාන හුය තමු නසිනා

මයිමත මෙලෙසට තිබුණා


ළිං කැපීම කෙරුණෙත් ශාස්ත්‍රයට අනුකුලවයි. ළිං කැපීමට සුදුසු නුසුදුසු දින කාල දිසා තියෙනවා. හෝරාහරණයේ 271 ශ්ලෝකය කියන හැටියට

ගෙට නැඟෙනහිරින් ළිඳ කැපුවොත් ස්ත්‍රිය විනාශ වෙයි. ගිනිකොනට ළිඳ කැපුවොත් ගිනි බිය, දකුණේ කැපුවොත් රෝග බිය හා මරණය, නිරිතදිගට කැපුවොත් සැප සම්පත්, බටහිරට ගියොත් ස්ත්‍රිය නසී, වයඹ දියුණුවක් නැත.

උතුර සැප සම්පත් හා විභූතිය ඇති වෙයි. ඊසාන සියලු සැප සම්පත් ලැබෙයි.

පදිංචි ගෙට ළිඳේ කෝන වැටීම අනුුවත් ප්‍රතිවිපාක ලැබෙනවා. පැරැන්නෝ මේකට කිව්වේ මකර කට කියලයි. ගෙයි ප්‍රධාන යට ලීය දිගට රේඛාවක් ඇන්දොත් ළිඳ උඩින් යනවා නම් ගෘහ මූලිකයාට මරණ බය දැනෙනවා. දෙපැත්තේ තියෙන ලීයක් ළිඳ උඩින් යනවා නම් දරුවන්ට මර බය හැඟෙනවා. ඒ වගේ ම කියන්න කැමතියි ළිං වැහීමත් අවදානම් දෙයක්.

අද කාලේ ළිඳක් වහනවා නම් ඒකට කොන්ක්‍රීට් සිලින්ඩර් බස්සවල තියෙනවා නම් අනිවාර්යෙන් ළිඳ වහන්න කලින් ඒ කොන්ක්‍රීට් කඩලයි ළිඳ වහන්න ඕනේ. පුරාණ ගෙබිම් ශාස්ත්‍රයේ මහා හාස්කම් තියෙනවා. ඒත් ඒවා අදට ගැළපෙන්න ශාස්ත්‍රයට හානියක් නොවෙන්න නිර්මාණාත්මකව යොදා ගන්න ඡ්‍යොතිෂඥයා දැනගන්න ඕනේ. එහෙම නැතුව පරණ දේ ඒ විදිහටම කරන්න බෑ. හරය විනාශ නොකර ශාස්ත්‍රය නම්‍යශීලීව කාලීනව පවත්වාගෙන නොගියොත් ඒක පවතින්නේ නෑ. ශාස්ත්‍රය නවීන වෙන්න ඕනේ. නම්‍යශීලීබව අත්‍යවශ්‍යයි.

පුරාණ ගෙබිම් ශාස්ත්‍රය අනුව ළිප් බැඳීම අනිවාර්යයි. නමුත් අද තියෙන්නේ ගෑස් ළිප්. වාස්තු විද්‍යාවට කොයි තරම් හොඳයි කීවත්, දොර ජනේල නැති, වාතාශ්‍රයක් නැති තැනක ගෑස් ළිප් තියන්න බෑ. මෙතනදී වාස්තුවට වඩා බලන්න ඕනේ ආරක්ෂාව ගැනයි.

පැරණි ශාස්ත්‍රය අනුව ළිප තියන්න ඕන තැන තීරණය කරනවා වගේම නවීන යුගයේ භාණ්ඩ ගැන හිතලා ඒවා සුදුසු තැන්වල ස්ථාන ගත කරන හැටිත් දැන ගන්න ඕනේ. අද කාලයේ දෛවඥයා - වාස්තු ශිල්පියා නිර්මාණාත්මක විය යුත්තේ ඒ නිසයි. කාලයට, යුගයට ගැළපෙන්න ශාස්ත්‍රයක් නවීකරණය වෙන්න ඕනේ.

පුරාණ ගෙබිම් ශාස්ත්‍රය, වාස්තු විද්‍යාව හොඳින් දැන ගන්නත් ඕනේ. ඒක නවීන ලෝකයට ගැළපෙන හැටියට වෙනස් කර ගන්න දැනුම තියෙන්නත් ඕනේ. මේ දෙකෙන් තොරව සාර්ථක වාස්තු විද්‍යාවක් පවත්වාගෙන යන්න බෑ. සමහරු ජීවිත කාලේම ගෙවල් කඩ කඩා වෙනස් කරනවා. ජීවිතේ වෙන කරන්න දෙයක් නෑ. ජනේල, දොරවල්, කඩනවා. වෙනස් කරනවා. අරහෙන් බිත්ති බඳිනවා. මෙහෙන් කඩනවා. මෙහෙම වෙන්නේ හොඳ වාස්තු විද්‍යා උපදෙස් නොලැබීම හා සමහර මිථ්‍යා මත නිසයි.

සමහරුන් කියනවා බටහිරට දොරක් දාන්න හොඳ නැතිලු. නමුත් කොළඹ ගාලු පාරේ ඕනම ගොඩනැඟිල්ලක පිටිපස්සේ දොර තියෙන්නේ බටහිරට. මේකයි වෙන්නේ බටහිරට දොර දාන්න පුළුවන්. ඒකට ශාස්ත්‍රය දැන ගන්න ඕනේ.

පර්චස් 5 - 6 ක පොඩි ඉඩමක ගෙයක් හදන කොට දෝෂ මඟ හරව ගෙන වැඩේ කරන හැටි දැන නොගත්තොත් ලොකු අමාරුවකයි වැටෙන්නේ. බටහිරට දොර දාන්නම වෙනවා නම් අපේ ගෙබිම් ශාස්ත්‍රය අනුව ඒක කරන්න ව්‍යතිරේක තියෙනවා. සඳු බටහිර ඉන්න දවසක නැකත් දුන්නොත් එදාට බටහිරට දොරක් දාන්න පුළුවන්. කිසිම දෝෂයක් නෑ. ඒ වගේ ම ගෙට ඉදිරිපිටින් යන්නේ රජුගේ (රජයේ) පාරක් නම් දිශාව නොබලා දොර දාන්න පුළුවන්. දෝෂ නෑ. මෙන්න මේ වගේ ව්‍යතිරේඛ ගණනාවක් තියෙනවා.

සමහරු නොදන්නාකමට අමාරුවේ වැටිලා හිත නරක් කර ගෙන මුදලුත් නාස්ති කර ගන්නවා. උත්තරේ මුළු ජීවිත කාලේම ගෙවල් කඩ කඩා ඉඳීම නෙවෙයි ඉන්න ගෙදර පොඩි ප්‍රතිකර්ම මඟින් දෝෂ මඟ හරවන හැටි දැන ගැනීමයි. සමහරු පණ්ඩිතකමට වාස්තු - වාස්තු කිය කියා මිනිසුන්ට වධ දෙනවා. ලොකු වාස්තු දෝෂ ඉතා සුළු ප්‍රතිකර්මවලින් මඟ හරවගන්න පුළුවන්.

මම හොඳට නැකත් දන්න මිනිහෙක්. ඒත් මම පාරට බහින්නේ නැකත් බලලා නෙවෙයි. එහෙම ජීවත් වෙන්න බෑ. රාහු කාලේ ඉවර වෙනකම් හිටියොත් කාටවත් වේලාවට රැකියාවට යන්න හම්බ වෙන්නේ නෑ. ශාස්ත්‍රය වුණත් පමණට වඩා ඔළුවට ගන්න එපා. ඒක ලෙඩක්. අද කරන්න ඕන දේ අද කරන්න. නැකත් බලලා ගමන ප්‍රමාක කරන්න එපා. වේලාව නරක නම් සුළු ප්‍රතිකර්මයකින් ඒ දොස් මඟ හරවන්න පුළුවන්.

ඒකයි මම හැම විටම කියන්නේ පුරාණ ශාස්ත්‍රය බලවත්. ඒත් ඒක අදට ගැළපෙන්න භාවිත කරන්න ඕනේ. ඒකයි වැදගත්.

ජීවිත කාලෙම හම්බ කරලා බැංකු ණයකින් ඉඩමක් අරගෙන කෙනෙක් ගෙයක් හදනවා. හැබැයි දැන ගන්න වාස්තුවට කලින් සාක්කුව ගැන හිතලා වැඩ කරන්න. අතේ තියෙන මුදල ගැන හිතලා ගේ හදන්න. ඉඩම දිහා බලලා ඉඩමට ගැළපෙන්න. සාක්කුවට බරක් නොවෙන්න ගෙයක් සැලැසුම් කරගන්න. රැල්ලට යන්න එපා. මිථ්‍යාවට අහු වෙන්න එපා. සිහි නුවණින් තම පමණ දැන ගේ දොර හදන්න.

හතර වටේට ණය වෙලා අනාගතය උකස් කරලා මොන වාස්තු දාලා ගේ හැදුවත් වැඩක් නෑ. ඒ වගේ මෝස්තරවලින් ගැලවෙන්න.

6 comments:

  1. මගේ නෑදෑයකු මෑතදී මුහුණදුන් අනපේක්ෂිත ඛෙදවාචකයක් නිසා තමන්ගේ නිවසේ පවතිතැයි ඇතැමකු පවසන්නට වූ වාස්තු දෝෂ ඉවත් කර ගැනීමේ දැඩි උවමනාවකින් පීඩාවට පත්ව මහත් සේ අසරණව සිටිනවා. මේ අයට පිහිට වීම පිණිස කිසියම් විද්වතකුගේ කාරුණික උපකාරයක් ඇත්දැයි විමසමින් සිටින අතරතුර ඔබේ මේ වටිනා ලිපි ඇස ගැටුනි. ඔබේ ලිපි කීපයක්ම කියවීමි. පාරම්පරික දැනුමෙන්ද පෝෂිත ඔබේ ගවේශනයන් හි වටිනාකම මහත්සේ අගය කරන්නෙමි. ඉතසිතින් සුබ පතන්නෙමි.

    ReplyDelete
    Replies
    1. දෝෂ මග හරින විදියක් කියල නෑහේ

      Delete
  2. හරිම වැදගත් ලිපියක් බොහොම ස්තුතියි ඔබතුමාට

    ReplyDelete
  3. වැදගත් ලිපියක් ..ස්තුති

    ReplyDelete
    Replies
    1. වැදගත් ලිපියක් ස්තුතියි ඔබට

      Delete
  4. මට වාස්තු ගැන යම් විස්වාසයක් තියෙනවා. මෙහෙමයි, කර්මානුරූපව අපිට වෙන්න තියෙන දේ වාස්තු වලින් නිරූපණය වෙනවා. කොයිතරම් හොද නැකැත් හදලා දෙයක් කරන්න හැදුවත් සමහරුන්ට නැකතට කරගන්න බැරි වෙනව. නැකැත්, වාස්තු විස්වාස නොකරන අය උනත් තමන්ගෙ කර්ම ශක්තිය හොද නම් වැඩේ කරල ඉවර වෙලා නැකැත්, වාස්තු බැලුවම හුගක් හොදට තමා ඉබේම යෙදිල තියෙන්නෙ.
    සමහරවිට වාස්තු දෝශ තිබිල නිවැරදි කරන්න හිතෙන්නෙ කලක් දුක් වින්දට පස්සෙ, නරක විපාක ගෙවිල අවසන් උනහම. කේන්ද්‍ර , නැකැත් නොබලම විවාහ වෙන අය හොද යුග ජීවිත ගත කරනව. පස්සෙ බලද්දි කේන්ද්‍රය හොදටම ගැලපෙනව. මේවට පමණට වඩා මහන්සි වෙනේකේ කොහොමත් තේරුමක් නෑ. ගොඩක් දේවල් වෙන්නෙ කර්මානුරූපව. වාස්තු කියන්නෙ කැඩපතක් විතරයි.

    ReplyDelete

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.