Add CSS based dropdown menu to blogger

NEWS

27 January 2013

වහල සෙවිලි කිරීමට ස්වාභාවික උණ ගසින් සිංහල උළු

ජනසෙවණ ජාතික නිවාස වැඩපිළිවෙල සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දේශීය නව නිමැවුම්කරුවන්ගේද දායකත්වය ලබාගන්නා බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් නව නිර්මාණ සිදුකළ නිමැවුම්කරුවන් දෙදෙනෙකු අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදීය. විනාඩි 40 කින් වැලිකියුබ් 1 ක් හලාගත හැකි නව යන්ත්‍රයක් නිර්මාණය කළ දඹුල්ල කාර්මික විද්‍යායතනයේ නිශාන් ධම්මික හා ශ්‍රීකාන්ත දිසානායක යන ශිෂ්‍යයන් දෙදෙනා හා නිවෙස්වල වහළ සෙවිලි කිරීම සඳහා ස්වාභාවික උණ ගසින් සිංහල උළු නිර්මාණයක් සිදුකළ සබරගමුව පළාතේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ, මාවනැල්ල අධ්‍යාපන කලාපයේ තාක්ෂණ කුසලතා ගුරු උපදේශකවරයෙකු වන ජයතිලක බණ්ඩාර මහතා අමාත්‍යවරයා හමුවූහ. මෙම නව නිර්මාණකරුවන් පිළිබඳව මාධ්‍ය මඟින් දැනගත් විමල් වීරවංශ අමාත්‍යවරයා මෙම නව නිර්මාණකරුවන් සමඟ සාකච්ඡා කිරීම සඳහා කැඳවන ලෙස ලබාදුන් උපදෙස් මත මෙම හමුව සිදුවිය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවයේ නියුතු ශ්‍රමිකයන්ට වැලි හලාගැනීම සඳහා විශාල ශ්‍රමයක් සහ කාලයක් වැය කිරීමට සිදුවේ. ඒ සඳහා වැයවන පිරිවැයද විශාලය. නමුත් නිශාන් ධම්මික හා ශ්‍රීකාන්ත දිසානායක යන ශිෂ්‍යයන් දෙදෙනා විසින් නිර්මාණය කළ නව යන්ත්‍රය මඟින් විනාඩි 40 කදී වැලි කියුබ් 1ක් හලාගැනීමට හැකි වේ. ඒ සඳහා එක් ශ්‍රමිකයකු පමණක් සිටීම ප්‍රමාණවත් වේ. මේ මඟින් ශ්‍රමය, වියදම, කාලය විශාල වශයෙන් ඉතිරිකර ගැනීමට හැකිවේ. ඇම්පියර් 5 ක විදුලිබල ශක්තියකින් ක්‍රියාත්මක වන විදුලි මෝටරයක් මඟින් මෙම යන්ත්‍රය ක්‍රියාකරන අතර මේ මඟින් වැලි පමණක් නොව බීජ වර්ග, ඇට වර්ග ආදී වෙනත් ද්‍රව්‍ය හලා ගැනීම සඳහාද භවිතා කළ හැකිය. සියලු ක්ෂේත්‍රවල කාර්යයන් කාර්යක්ෂම කිරීම සඳහා මෙම යන්ත්‍රය යොදාගත හැකිවේ.

නිවෙස්වල වහල සෙවිලි කිරීම සඳහා ස්වාභාවික උණ ගසින් සිංහල උළු නිර්මාණය කිරීමේ නව නිර්මාණයක් ජයතිලක බණ්ඩාර මහතා විසින් සොයාගන්නා ලදී. ඒ සඳහා හොඳින් මෝරන ලද උණ ගස් පුරුක් වශයෙන් කපා යොදාගනී. මෙම ස්වාභාවික උණ ගස් මඟින් වහල සෙවිලි කිරීම නිසා වැයවන වියදම අවම කරගත හැකි වේ. මීට අමතරව වැඩි කාලයක් භාවිතා කළ හැකිවීම, ජලය කාන්දු නොවීම, නිවාස අභ්‍යන්තරය උණුසුම් වීම අවම වීම, පහසුවෙන් ගිනි ගැනීමට ලක් නොවීම වැනි ප්‍රතිලාභ මේ මඟින් ලබාගත හැකිවේ.

විමල් වීරවංශ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී මෙම නව නිර්මාණකරුවන්ගේ දක්ෂතා හා හැකියාවන් අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය. මෙම නව නිර්මාණකරුවන්ගේ හැකියාවන් වර්ධනය කිරීමේ වැදගත්කම හා එම හැකියාවන් රටේ සංවර්ධනයට දායක කරගැනීමෙන් අත්පත් කරගත හැකි ප්‍රතිලාභ පිළිබඳ අමාත්‍යවරයා අදහස් පළ කළේය. රටපුරා ක්‍රියාත්මක වන ජනසෙවණ ජාතික නිවාස වැඩසටහනට මෙම තාක්ෂණික නිර්මාණ යොදාගැනීම තුළින් නව නිපැයුම්කරුවන්ගේ හැකියාවන් වර්ධනය කිරීමටත්, ඔවුන්ට ක්ෂේත්‍රෙය් අවස්ථා ගොඩනැංවීමට ඇති හැකියාව උදාවන බවත් ඒ සඳහා තමන්ට හැකි උපරිම දායකත්වය ලබාදෙන බවත් ඒ තුළින් රටේ සංවර්ධනය සඳහා දේශීය නව නිමවුම්කරුවන්ගේ දායකත්වය වර්ධනය කිරීමට කටයුතු කරන බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ උණ ගසෙන් සිංහල උළු කැට නිර්මාණය කළ ජයතිලක බණ්ඩාර මහතා “ මම නිර්මාණය කළා උණ ගසින් උළු කැටයක්. එය සිංහල උළු ක්‍රමයට සමානයි. දිවයිනේ නොයෙක් පළාත් වල මෙම උණ ගස් වැවෙනවා. මෙම උණ ගස් පුරුක් වශයෙන් කපලා පදම් කිරීම තුළින් අවුරුදු 50 කට පමණ කාලයක් තියාගන්න පුළුවන්. මෙම ක්‍රමයෙන් ජලය කාන්දුවක් සිදුවෙන්නේ නැහැ. උණුසුම් වීමත් ඉතා අඩුයි. එම නිසා සෞඛ්‍ය ආරක්ෂිත, පරිසර හිතකාමී උළු කැටයක් නිර්මාණය කරගැනීමට හැකිවෙනවා. දැනට මම ප්‍රදර්ශනය සඳහා මෙය ඉදිරිපත් කෙරුවා. මෙය ඉදිරියේදී වෙළඳ පොළට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටිනවා. ගිය වසරේ දැයට කිරුළ ප්‍රදර්ශනයේ නව නිර්මාණ තරඟ වලට මෙය ඉදිරිපත් කළා. දැනට වෙළඳ පොළේ තියෙන වහල සෙවිලි ද්‍රව්‍ය සමඟ සසඳන විට අඩු වියදමින් පහසුවෙන් නිර්මාණය කරගත හැකි වෙනවා. දිවයිනේ නොයෙකුත් පළාත්වල මෙම ස්වාභාවික උණ ගස වැවෙන නිසා පහසුවෙන් මෙය නිෂ්පාදනය කර ප්‍රචලිත කිරීමට හැකි වෙනවා. උණ ගස් ගින්නෙන් තැවීම, උණු දියෙන් තැම්බීම, ලුණු සහිත මඩ වතුරේ ගිල්වා තැබීම වැනි ක්‍රම මඟින් පදම් කර වසර 50 කට වැඩි කාලයක් තබා ගත හැකි වෙනවා. අද විමල් වීරවංශ අමාත්‍යතුමා සමඟ සාකච්චා කිරීමට ලැබීම මට විශාල ශක්තියක්. එතුමාගේ සාකච්ඡාවෙන් වටිනා අදහස් මට ලැබුණා. ඉදිරියේදී උණ උළු කර්මාන්තයක් වශයෙන් ගෙනයාමට උදව් උපකාර ලබාදෙන බව ප්‍රකාශ කළ විමල් වීරවංශ අමාත්‍යතුමා මාව මේ ආකාරයට කැඳවලා සාකච්ඡා කිරීම තුළින් විශාල ධෛර්යක් ලැබුණා. ඇත්තෙන්ම මම හිතුවේ නෑ මෙය කාර්මාන්තයක් වශයෙන් පවත්වාගෙන යන්න. නමුත් ඇමතිතුමාගේ සාකච්ඡාවෙන් මට විශාල ශක්තියක්, ධෛර්යක් ලැබුණා” යනුවෙන්ද පැවසීය.

වැලි හැලීමේ නව නිර්මාණ යන්ත්‍රය නිෂ්පාදනය කළ නිශාන් ධම්මික මහතා පවසා සිටියේ “ අපි දඹුල්ල කාර්මික විද්‍යාලයේ 2011 වර්ෂයේ ඉගෙනුම ලබන කණ්ඩායමේ ශිෂ්‍යයන් එකතුවෙලා තමයි මෙය නිර්මාණය කළේ. මෙම නව නිර්මාණය කිරීමට දඹුල්ල කාර්මික විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය සහාය ලබාදුන්නා. පළමුව අපි ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළා. මෙම යන්ත්‍රය නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 18,000 ක් පමණ මුදලක් වැය වෙන නිසා මේ සඳහා හොඳ ඉල්ලුමක් ඇතිවෙයි කියලා හිතනවා. අද විමල් වීරවංශ අමාත්‍යවරයාගේ දැනුම්දීමකට අපි එතුමා හමුවුණා. එතුමා මෙම නිර්මාණය පිළිබඳ ප්‍රශංසා කරලා ඇගයීමට ලක්කළා. එය අපිට විශාල ශක්තියක් හා ධෛර්යක්. එතුමාගේ නිවාස වැඩපිළිවෙලට අපිව සම්බන්ධ කරගෙන මෙම යන්ත්‍රය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට හා සහාය ලබාදෙන බව ප්‍රකාශ කළා. අපි වගේ නව නිර්මාණ ඉදිරිපත් කරන අයට අතහිතදීලා අපිව ධෛර්යමත් කරන එක ගැන අපි විමල් වීරවංශ අමාත්‍යතුමාට ස්තූතිය ප්‍රදකරනවා“ යනුවෙන්ද පැවසීය.

මෙම සාකච්ඡාවට සහභාගීවූ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ජගත් කුමාර පෙරේරා, ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනයේ සභාපති උදුල බණ්ඩාර අවුසදහාමි, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ යන මහත්වරුන්ට මෙහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නේ මෙම නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ ගැන සොයාබලා ඔවුන්ගේ දායකත්වය නිවාස වැඩසටහන් සඳහා ලබාගන්නා ලෙසයි.

No comments:

Post a Comment

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.