Add CSS based dropdown menu to blogger

NEWS

27 January 2013

නිවසේ වහල දොසින් තොර කිරිම


නිවසේ ප්‍රධාන අංගයක්‌ වශයෙන් සැලකෙන වහල නිවසට අලංකාරයක්‌ද, ප්‍රෙඪත්වයක්‌ද එක්‌කරන අංගයක්‌ ද වේ. ඉසිවරයන් විසින් ද නිවසක වහල සුවිශේෂත්වයෙන් සලකා ඒ පිළිබඳව න්‍යාය පද්ධතියක්‌ ප්‍රකාශ කර ඇත.

ශුභ මුහුර්ථ

වහල ගැසීමේදී වහලේ වැඩ සඳහා පුරපස ශුභ දවසක රෙහෙන, මුවසිරස, පුෂ, හත, අනුර, මුල, තනතුරු, රේවතී යන නැකතක්‌ ගෘහ හිමියාට සීහුම් බලා යොදා ගැනීම ශුභය. ඒ සඳහා මධ්‍යම නැකත් වශයෙන් සැලකෙන්නේ අස්‌විද, පුනාවස, මා, සිත, සා, දෙනට, සියාවස යන නැකත්ය.

තත්කාල ලග්නය වෘෂභ, තුලා, වීම, ශුභයි. තුලාව චර රාශියක්‌ වුවද ඉහත සඳහන් නැකත් සමග යෙදෙන විට ශුභඵල දෙයි. වහලේ වැඩට තිර රාශි ඉතා ශුභය. උභය රාශි මධ්‍යමය, චර රාශි අශුභය.

ගෝධූ ලී මුහුර්ථය

සම්ප්‍රදායක්‌ වශයෙන් දහවල් දොළහට පෙර වහලේ කටයුතු ආරම්භ කිරීම සිරිතය. එහෙත් බොහෝ ශුභ කටයුතුවලට ප්‍රශස්‌තැ යෑයි ජ්‍යෙතිෂ ග්‍රන්ථවල වර්ණනා කර ඇති සවස සන්ධ්‍යා ලග්නයත් සමග උදාවන "ගෝධූලී මුහුර්ථය" යෙන් යටලී තබා කළ පර්යේෂණ ද සාර්ථක වී ඇත.

ශුභ හෝරාව

1. රවී හෝරාව යටලී තැබීමටද, 2. බුද හෝරාව පරාල ගැසීමටද, 3. කිවි හෝරාව වහල සෙවිලි කිරීමටද ශුභ බව පොතපතේ සඳහන් වේ.

බාල්ක යෙදීම

වහලක්‌ රඳවන්නේ බාල්ක මතය. මේ බාල්ක නිවසේ හරස්‌ අතට මිස දිග අතට නොදැමිය යුතුය. එසේම නිවසේ දිග පළල අනුව විසිරී පවතින ශුභ පාදයක්‌ මත බාල්කය තැබිය යුතුය. නිවසේ හරි මැද පිහිටන බ්‍රහ්ම පාදයට උඩින් බාල්කය නොතැබිය යුතුය. "බ්‍රහ්ම පාදය" යනු නිවසේ ප්‍රධාන "මර්මස්‌ථානය" වෙයි.

උළුවහු ජනෙල් මත බාල්ක නොතැබිය යුතුය. එසේ බාල්ක දමන උළුවස්‌ස මත යට ලී පිරිද්දුමක්‌ද වුවහොත් ගෘහ හිමියාට මාරකය යෙදෙයි. එම උළුවස්‌ස මංගල උළුවස්‌ස වුවහොත් මාරක අපල ගෙන දෙයි. ජනෙල් මත මෙන්ම ජනෙල් කණු මතද බාල්ක නොපිහිටිය යුතු අතර යටලී පිරිද්දුම් හසුකර බාල්ක නොතැබිය යුතුය.

ප්‍රධාන උළුවස්‌සට හෝ උළුවස්‌සකට එල්ලකර බාල්ක නොතැබිය යුතුය. බාල්කය තනි ලීයක්‌ වීම ශුභදායකය.

මුදුන් යටලීය

නිවසක මුදුන් යටලීය දැමීමද ශුභ කටයුත්තක්‌ සේ සලකා ක්‍රියා කළ යුතුයි. මුදුන් යටලීයට මූට්‌ටු 3 ක්‌ සම්බන්ධවීම අශුභය.

එමෙන්ම මුදුන් යටලීය මුදුන් බිත්ති 3 ක්‌ මත තැබීම අශුභදායකය.

මුදුන් යටලීයට කුරුපා 3 ක්‌ සම්බන්ධ කිරීම අශුභය. එසේ සම්බන්ධ කළහොත් ගෘහමූලිකයාට අංශ භාග වැනි රෝග හට ගන්නා බව කියෑවේ. මුදුන් බිත්ති 2 ක්‌ මත තබා ඇති මුදුන් යටලීයට බිත්ති දෙක මැදිවන සේ එක කුරුපාවක්‌ තැබීම ඉතා අශුභය. මුදුන් යටලීයේ පිරිද්දුම් එවැනි තවත් පිරිද්දුම් වෙත එල්ල නොවිය යුතුය. එසේම එම පිරිද්දුම් දොර ජනෙල් වෙත එල්ල වීමද අශුභය.

මුදුන් යටලීයට යොදන පිරිද්දුම් නිවසේ දිග, පළල අනුව යෙදෙන ශුභ පාදයක්‌ මත පිහිට විය යුතුය. නිවසක මුදුන් යටලීයක්‌ සමග යොදන යටලී ප්‍රමාණය ඔතු ගණනක්‌ වීම ශුභය. මුදුන් යටලීය මිනිසකුගේ උසට වඩා දිගින් වැඩි විය යුතුය. එයින් කියෑවෙන්නේ මුදුන් යටලීය අඩි 6 කට වඩා දික්‌විය යුතු බවයි. මුදුන් යටලීයේ හරි මැදට පරාල නොගැසිය යුතුය. එසේ කළහොත් සිදුවන්නේ බ්‍රහ්ම පාදයට වේධ දොaෂයක්‌ එල්ල වීමයි. එක නිවසක මුදුන් යටලීයක්‌ තවත් නිවසක මුදුන් යටලීයට හරි කෙළින් නොතිබීමද මුදුන් යටලීයේ පිරිද්දුම් මත හෝ යටලීවල ඇති පිරිද්දුම් මත හෝ පරාල නොගැසීමද යහපත්ය. එමෙන්ම මුදුන් යටලීය මත එළන පරාල ඉරට්‌ටේ ගණනක්‌ විය යුතු අතර මුදුන් යටලීය හරි කෙළින් බටහිරට දිසා ගත නොවිය යුතුය.

මුදුන් බිත්තියක මුදුනේ තිබෙන මුදුන් යටලීයට සමාන්තරව පහළින් දොරක්‌, ජනේලයක්‌ තැබීම මහා දොෂයකි. එම දොෂය ගෘහ හිමියාට මාරක පවා ඇති කළ හැකිය.

අශුභ මූට්‌ටු

කාමර පිටට පැන්න වූ නිවෙස්‌වල එසේ පිටට පැන්න වූ මුදුන් යටලීයේ අග දෙපසට මූල පරාල දෙකක්‌ වදින නිසා එයට පරාල දෙකක්‌ද ගැසූ විට එය පස්‌ මූට්‌ටුවක්‌ බවට පත් වේ. එය මහා විපත් ඇති කරයි.

අශුභ කාමර

එසේම කාමර පිටට පැන්න වූ විට නිවසේ වර්ගඵලයට හානි පමුණුවමින් පොරොව හැඩද මතු කරන නිසා එබඳු නිවාස දුක්‌ කරදර, මානසික අසහන, රෝග හා ධන හානි ඇති කරයි.

ඵල දෙක

මුදුන් යටලීය මත වදින දෙපස වහලවල් දෙකේම දිග, පළල එක සමාන නොවීමද දොෂයකි.

සතරැස්‌ වහල

හරි හතරැස්‌ නිවාස මෙන්ම හරි හතරැස්‌ වහලයද ගෙහිමියන් දුකට පත්කරයි. එමෙන්ම ලස්‌සනම බලාගෙන නවීන විලාසිතා අනුව සාදන නිවාසවල වහල නොයෙක්‌ අතට පන්නා හැඩකර තිබෙනු පෙනේ. මේවායේ මුදුන් යටලී, යටලී, මූල පරාල, නොයෙක්‌ අතට පිහිටන නිසා මෙබඳු වහලවල් මහත් ව්‍යසන ඇති කරයි. ගෙහිමියන්ට ශෝක උපදවයි.

කුඩා පියසි

නිවස අලංකාර කරනු පිණිස කුඩා පියසි පිටට පන්නා තනනු ලබන නිවෙස්‌වල එම කුඩා පියසි අශුභ දිසාවන්ට හසුවීම නිසාද පීඩා ඇති වේ.

සීලිම

වහලට යටින් සීලිමක්‌ ගැසීමෙන් වහලේ ඇති සුළු දොෂ ඉවත් වී ගියත් මහා දොෂ ඉවත් නොවේ. මහා දොෂ ගෙහිමියන් පෙළයි.

පරණ ලී

නව නිවසකට පරණ ලී දඬු යොදා ගැනීම ඉතා අශුභය. එසේ කළහොත් එම නිවසින් ශ්‍රියාව පලා යයි. නිවසේ වැඩ කටයුතු නිතර අවුල් වේ.

වහලේ උස

නිවසක වහල බොහෝ උස්‌වද බොහෝ පහත්වද පිහිටීම ඉතා අශුභය. එබඳු නිවෙස්‌වල භූත දොෂ ඇති වේ.

වඩිම්බු ලෑල්ල

නිවසක වහලේ වඩිම්බු ලෑල්ල ගැසීමද ප්‍රවේශමෙන් කළ යුතුය. වඩිම්බු ලෑල්ල සවි කිරීමේදී සිදුවන වැරැදි නිසා සොහොන් පරාල දොස ඇති විය හැකිය.

මරු ඇත

වහල ගැසීමේදී වාස්‌තු පුරුෂයාගේ වම් ඇලයට වදින ඇණ මරු ඇණ වශයෙන් සැලකේ. ඒවා විපත්තිකර නොවන සේ යොදා ගැනීමට වගබලාගත යුතුය.

අශුභ අවස්‌ථා

ගැබිනියක සිටින අවස්‌ථාවක නිවසේ වහල ගැසීම ඉතා අශුභය. පරණ වහලක්‌ ගැලවීම ද අශුභය. නිවසකට එකම වර්ගයේ දැව වර්ගයක්‌ යොදා ගැනීම ඉතා ශුභය. නමුත් අද එසේ කළ නොහැකි තත්ත්වයක්‌ උදා වී පවතියි. එනමුත් අඩුම තරමින් දැව වර්ග තුනකින් නිවසක කටයුතු නිමා කරන්නට වගබලා ගත යුතුය. නිවසකට දැව වර්ග 3 කට වැඩිය යොදා ගතහොත් එම නිවස ගොඩනඟන්නට යොදා ගත් තත්කාල මුහුර්ථයේ නැකත් බලය විනාශ වන බව මතක තබා ගත යුතුය.

කේන්ද්‍රයේ බලය

උත්පත්ති කේන්ද්‍රයේ හතර වැන්නේත්, හතර වැන්න අධිපතියාගේත්, ක්‍රි.මූ. පද්ධතියේ සඳහන් පරිදි හතර වැන්නේ උප නැකත්පතියාගේත් ශුභ පිහිටීම් මත නිවසක අශුභ ඵල ක්‍රියාත්මක වීම පමා විය හැකි නමුත් නිවසක පිහිටවන මහා දොෂවලින් ගෙහිමියා ආරක්‍ෂා වන්නේ කලාතුරකිනි

2 comments:

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.